April 9, 2024

කසාද බදින්න හොදම වයස මොකක්ද?

0
Right time to marry

The Best Age to Marry මේක අපේ සමාජෙ නිතරම අහන්න දකින්න හම්බෙන සාකච්ඡාවට බදුන්වෙන මාතෘකාවක් වෙලා. නමුත් කාලෙන් කාලෙට පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ බදින වයස වෙනස් වෙනවා. මොකද මේක පිටිපස්සෙ තවත් බොහෝ කාරණා හැංගිල තියෙන නිසා.


අපි මීට අවුරුදු 60ක් 70කට කලින් සාමාජෙ ගැන බැලුවොත් බොහෝ විට ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වෙලා මාසයක් දෙකක් යනකොට ගැටවරයෙක් කැන්දගෙන යනවා. ඒ කියන්නෙ ඒ කාලේ වෙද්දි සාමාන්‍යයෙන් අවුරුදු 12-15ක් වෙනකොට කසාදයක් බදිනවා. මෙන්න මේ නිසා තමයි ගැහණු දරුවෙක් වැඩිවියට පත් උනාම අහළ පහළ ගම් වලටත් දැනෙන්න උත්සවක් ගන්නෙ. මොකද කසාද බදින්න සුදුසු වැඩිවිය පැමිණි දුවෙක් ගෙදර ඉන්නවා කියන එක අඟවන්න ඕනි නිසා. මොකද ගොඩක් වෙලාවට ඒ කියන්නෙ 90%ක්ම වගේ ඒ කාලේ ගැහැණු දරුවන් පාසල් අධ්‍යාපනයක් ලැබුවෙ නෑ. ඒ නිසා ඉක්මනින් පිළිවෙලක් කරලා ගෙදරින් පිටමන් කිරීමක් සිදු වුණා.


ඒත් කාලයත් එක්ක මේ දේවල් ටික ටික වෙනස් වුණා. මේකට විශේෂයෙන්ම බලපෑ හේතුව තමයි ගැහැණු දරුවන් පාසල් යෑම. මේ හේතුව නිසාම අවුරුදු 12න් 15න් වගේ සිදුවුණු කසාදය ටිකක් ඈතට යනවා. ඒ නිසා අපි බැලුවොත් 1980-90 දශක වල සාමාන්‍යයෙන් විවාහයක් සිදු වන සාමාන්‍ය වයස කාන්තා පිරිමි දෙපාශ්වයේම අවුරුදු 20-23 වගේ වෙනවා. මේ කාලෙ වෙනකොට අපේ කාන්තාවනුත් රැකියා කරන්න පෙළඹුනත් වඩාත් සුලබව දකින්න ලැබෙන්නේ නෑ.


ඒත් දැන් දැන් තත්ත්වය වෙනස්. අද වෙනකොට කාන්තා පිරිමි භේදයකින් තොරව උසස් අධ්‍යාපනය වගේම විවිධ ක්ෂේත්‍ර වල කාන්තා පිරිමි දෙපාර්ශවයම රැකියා වල නියුතු වෙනවා. ඒ වගේම රටේ සමාජ ආර්ථික තත්ත්වයත් ඒ කාලෙට වඩා දැන් සෑහෙන්න වෙනස්. ඒ නිසා කසාද බදින වයස තීරණය තමාගේ වයසේ ඉලක්කමෙන් ඔබ්බට ගියපු තවත් සාධක ගොඩක් බලපාන කාරණාවක් වෙනවා. එතකොට කසාදෙට හොඳම වයස මොකද්ද ?????

කසදයක් බදින බොහෝ දෙනාගේ එකම පැතුම දරුවෙක් මල්ලෙක් හදාගෙන සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන එක. ජීව විද්‍යාත්මකව බැලුවොත් වයස අවුරුදු 20-28 අතර කාලය කාන්තාවන්ට දරුවෙක් බිහි කරන්න වඩාත් සුදුසු කාලය ලෙස නිර්දේශ කරනවා.

ඒත් දරුවෙකු සිටිය පමණින්ම ඔබ පතන සාර්ථක පවුල් ජීවිතය ඔබට උරුම කරගන්න පුළුවන්ද???
මේ ප්‍රශ්නය සඳහා පිළිතුර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ නිසා කසාද බදින්න හොදම වයස හොයනවට වඩා කසාද බදින්න හොදම කාලය සෙවීම වඩාත් වැදගත්.

මොකද වර්තමාන සමාජේ ජීවත් වෙන අපි පුංචි කාලෙ ඉදන් බලාපොරොත්තු වුණු අරමුණු, හීන විවාහයකින් කෙළවර කිරීම සුදුසු වෙන්නෙ නෑ.

ඒ නිසා වයස හරි ගිය පමණින් ඉක්මන් කසාදයක් කරගෙන ඔබේ ජීවිතයම විනාශ කරගන්නවට වඩා තමන්ට වඩාත් සුදුසු සහකරුවා හොයාගන්න එක වැදගත්. ඔබේ සහකරු ඔබට ගැලපෙන කෙනා නොවෙනවා නම්, තව දුරටත් ඔබට ඔහු/ ඇය සමග වාසය කරන්න බැරි නම් ඔබට වෙන් වෙන්න පුළුවන්. නමුත් තවමත් අපේ සමාජේ දික්කසාද වූ ගැහැණියකට/ මිනිසෙකුට තිබෙන්නෙ තරමක් පහත් පිළිගැනීමක්. ඒ නිස කලබල වෙලා කරදරේට වැටෙනවට වඩා හරි කෙනා හම්බවෙනකම් ඉවසීම වැදගත්.

ඊලග කාරනේ තමයි කසාදෙන් පස්සෙ කාටවත් අතනොපා ජීවත්වෙන්න තරම් ආර්ථිකයක් තියෙනවද කියන එක. මොකද මෙච්චර කල් ඔබේ වියදම් දැරුවෙ ඔබේ දෙමාපියන් නම් කසාදෙන් අනතුරුවත් දෙමාපියන්ගෙන් ඔබේ අවශ්‍යතාවන් සදහා මුදල් බලාපොරොත්තු වීම හොද දෙයක් නෙමෙයි. ඒ නිසා පවුල් ජීවිතයක් ගත කිරීමට තරම් යහපත් ආර්ථිකයක් විවාහයකදී ඔබ දෙපලට තිබිය යුතුයි.

ඒ වගේම විවාහයෙන් පසුව ඔබ දෙපල ජීවත් වෙන්නෙ කොහෙද? දෙමාපියන් සමග ඔවුන්ගේ නිවසේ වෙසෙනවද, තමන්ටම කියලා නිවසක්, එහෙම නැත්තම් කුලියට ගත් නිවසක් මේ සියල්ල ඔබ විවාහයට කලින් සැළසුම් කර ගත යුතුයි.

හදිසි විවාහන් සැළසුම් කළ බොහෝ ජෝඩු මුහුණපාන තවත් ගැටලුවක් තමයි රැකියා ස්ථාන මාරු ලබා ගැනීම. හදිසි විවාහයක් නිසා මේ ප්‍රෂ්ණය විසදගන්න බැරි උන බොහෝ පිරිසක් විවාහයෙන් පස්සෙත් ප්‍රදේශ දෙකක ජීවත් වීම දකින්න පුළුවන්. ඒ වගේම ඇතැම් විට මේ ප්‍රෂ්ණය නිසාම විවාහයෙන් පස්සෙ රැකියා අතහැර යාම උනත් සමාජයේ දකින්න පුළුවන්. මේ නිසා හදිසි විවාහයකට කලින් මේ පිළිබඳවත් සැළකිලිමත් වෙලා ඒ දේවල් හරියට පිළිවෙලක් කරගෙනම විවාහ වෙන එක තමයි හොදම.

මේ වගේ කසාදයට පෙර ඔබ සළකා බැලිය යුතු බොහෝ කාරණා සමග කසාද වයස තීරණය වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් හරියට සැලසුම් කරගන්නෙ නැතුව ‘වයස යන නිසා’ වත් ‘ගෙදරට නාකි වෙන නිසා’ වත් හදිස්සියට බැදලා තමන්ගේ සිහින, බලාපොරොත්තු අතහැර දානවට වඩා, අසාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවට වඩා වඩාත් සැලසුම් සහගත සාර්ථක පවුල් ජීවිතයක් හදිස්සියක් නැතුව ගත කරන එක තමයි වඩාත් සුදුසු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap